Skip links

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පණිවිඩය

රජරට ගොවි ආර්ථිකයේ  සාරාර්ථයට මුදුන්   ශක්තියක් ලබා දෙන්නේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය බව අවිවාදිත ය. කෙටි කාලයකින් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අතර නම් දැරූ ධ්‍යස්ථානයක් බවට මෙය පත්ව තිබෙන්නේ ඒ නිසයි. ඈත ගම් නියම් ගම් වල සිට සිය ශ්‍රමය වගුරුවා නෙලා ගන්නා ඵලදාව අලෙවි කර ගැනීමට පොදු මධ්‍යස්ථානයක් පැවතීමේ සැනසුම දැනෙන්නේ ගොවියාට ම පමණි. දිස්ත්‍රික්කයෙන් පිටත විවිධ පෙදෙස් වලට සිය අස්වනු ප්‍රවාහනය  කිරීමේ දී ඇති වූ ගැටළුවලට  නිට්ඨාවටම විසදුම් ලබා දුන්නේ මෙම ආර්ථික මධ්‍යස්ථානය යි. එසේ හෙයින් තම අස්වනු සදහා දරන්නට සිදු වූ අමතර බර සැහැල්ලු කිරිමේ නියමුවා බවට එය නිතැතින්ම පත්වේ.

රජරට ගොවින් ගේ පමණක් නොව වෙනත් ප්‍රදේශවල ද එළවළු පළතුරු වලින් පිරි ඉතිරි යන සරුසාර ආර්ථික ක්‍රියාවලියක් මෙම මධ්‍යස්ථානය තුල සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතී. වෙන් වෙන් වශයෙන් මුවින් නොකියන්නේ වුව ද මේ සාඩම්බර මධ්‍යස්ථානය ගොවීන්ට මෙන්ම වෙළෙදුන්ට ඉමහත් අස්වැසිල්ලක් ගෙන දෙන වෙළෙඳ භූමියකි. අප දැනටත් එහි ඉහළ සාර්ථකත්වයක් දකින්නේ පරිණත අවධියට පැමිණිමටත් පෙරයි. තව තව කල් යත්ම මෙම ආර්ථික මධ්‍යස්ථානය බොහෝ සුබ පරමව ප්‍රචලිත වීමේ මං සලකුණු ඕනෑ තරම් තිබේ. එහි අභ්‍යන්තරයෙහි ඇති මනා කළමනාකාරීත්වය ඊට ප්‍රබල පිටුවහලක්ව පවතී.  එසේ හෙයින් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අනාගතයේ දී ජාත්‍යන්තරයේ පවා නම් කියැවෙන ප්‍රාප්තියකට පිවිසෙනවා ය යන්න මාගේ විශ්වාසය යි.

නීතීඥ ආර්.එම්. වන්නිනායක
දිසාපති / දිස්ත්‍රික් ලේකම් – අනුරාධපුරය
Sinhala